විග්රහ සහ සැලසුම්
නීලගෙ කතාවට පින් සිද්ධ වෙන්න සෙනසුරාදා රැයෙන් වැඩි හරියක් මට නිදි නෑ.
නීලගෙ නවාතැනේ රෑ කෑමෙන් පස්සේ මම ආපහු මගෙ කාමරයට ආවේ කැළඹුන සිතකින්. නීලයි මලිකුයි ‘රටක් නැති කරදරේ’ ගැන හිතලා තියෙන්නේ මම මීට පෙර කවදාවත් හිතලා නැති විදිහකට. ඒ අයගෙ කතාව ඇත්ත නම් අපි දැන් කරණ සමීක්ෂණ වල ඇති වැදගත් කම මොකක්ද? මම නීලගෙ කතාව මුළ ඉඳන් පරීක්ෂා කාරීව විභාග කරලා බැලුවා.
මලික්-නීලා සම්බන්ධය නිසා දෙන්නම ජීවත් වෙන්නේ ඉතාම සතුටින්. සමහරවිට ලංකාව තියෙන ලෝකේ ජීවත්වුනාටත් වඩා සතුටින්. ලැබී තිබෙන රැකියා තම නිපුනතාවයන්ට වඩා ‘පහත්’ වීම මේ සතුටට බාධාවක් නෙවෙයි. මේ ගැන කිසිම සැකයක් නෑ. තම තමාගෙ පවුල් වලින් වෙන්වීම වැනි දේ වලින් අනාගතේ නැගී එන දුක් දැනට ලොකු ප්‍රශ්න නෙවෙයි. ඕනෑම අනාගත ප්‍රශ්නයකට මුහුණදීමට දෙන්නම ලෑස්ති බවත් පැහැදිලියි.
දෙවෙනි කාරණේ ඊට වඩා ගැඹුරුයි; ලංකාව ‘ආපසු ආවොත්’ අපෙ දැන් තියෙන ජීවිත වලට වෙන්නේ මොකද්ද? ඇත්තටම මොකද වෙන්නේ?
නීලා කිව්වා වගේ මිනිසුන්ගේ ජීවිත ලංකාව තිබුන කාලේ වගේ ඒ විදිහටම යමින් පවතිනවද? ඒ කියන්නේ ‘ලලිත් මීගස්තැන්න නැමැත්තෙක්’ මාස හයකට විතර ඉස්සර ලංකාවට ආපහු ගිහින් දැන් එහෙ ජීවත් වෙනවද?
ලලිත් මීගස්තැන්න දැන් ඉන්නේ බ්‍රිස්බන් නගරේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. ඒ අනුව එයා (ඇත්තටම කිව්වොත් මම) කොහොමද ලංකාවක ඉන්නෙ? අනික, අපි ‘දැන් එහෙ ජීවත් වෙනවද?’ කියලා අහනකොට ඒ ‘එහෙ’ තියෙන්නේ කොහෙද? අපි ඉන්න ලෝකේ ලංකාවක් නෑ - තිබිලත් නෑ. අපි ‘එහෙ’ කිව්වේ ලංකාව ගැන හිතලා… නැති තැනක් ගැන හිතලා. ඒ කියන්නේ, නීලා කියපු විදිහට, ‘ලලිත් මීගස්තැන්න මාස හයකට ඉස්සර ලංකාවේ ගියා’ කියලා පිළිගන්න කොහොමටත් බෑ. [විද්‍යා ප්‍රබන්ධ වල එහෙම කතා මං කියවලා තිබුනත් ඒවා ඇත්ත ලෝකේ සිද්ධ වෙන දේ නෙවෙයි!]
විනාඩියකට හිතලා බැලුවොත් එහෙම ලෝක දෙකක් - විශ්ව දෙකක් - සමාන්තරව දුවනවා කියලා… ඒ කියන්නේ ඇත්තටම ලලිත් කෙනෙක් ලංකාවේ ගිහින් එහෙ ඉන්නවා. සමහරවිට දැන් රස්සාවකුත් හොයාගෙන ඇති. අම්මයි නංගියි මල්ලියි මොනවා කරනවා ඇතිද? අම්මා තවම වැඩද? නංගී බැඳලද? මල්ලී තවම පිස්සු නටනවද? මට තේරෙණවා මේ තොරතුරු මම නොදන්නේ මගේම වැරැද්ද නිසා කියලා. මම ලියුම් කීයද ලිව්වේ? මතක හැටියට අන්තිම අවුරුදු දෙක හමාරේ ලිව්වේ එකම ලියුමයි - ඒකත් මල්ලිට; මම ආපහු ලංකාවට එනවා කියලා දන්වන්න.
මට විශාල කනගාටුවක් ඇතිවුනා. ඇස් දෙකේ කඳුලු පිරුනා. වහාම ඇඳෙන් නැගිටලා මම කුස්සියට ගියේ තේ එකක් හදා ගන්න හිතාගෙන. ආය නින්දක් බලාපොරොත්තු වෙන්න අමාරුයි පැය ගණනකට. බ්‍රිස්බන් ජීවත්වෙන මට ආයෙ මගෙ පවුලේ අය දකින්න ලැබෙන්නෙ නෑ. බැල්කනියේ වාඩිවෙලා තේ බොන ගමන් මම තව ප්‍රශ්න මෙනෙහි කරා.
සමාන්තරව දුවන විශ්ව දෙකක් ඇත්නම්, එහෙ ඉන්න ලලිත්ගෙ පවුලේ අය මගෙ පවුලේ අයමද? මගෙ අම්මා ගලගෙදර ඉන්නවද නැත්නම් මට අම්මෙක් ඇත්තෙම නැද්ද? ලංකාව වගේ, මට අම්මෙක් කවදාවත් හිටියෙ නැද්ද? නීලා, මලික්, මයිකල් පවුල වගේ අයත් මා වගේම හදිසියේ ‘මැවුනු’ අයද? දෙමව්පියෝ වගේම උපන්බිමක් නැති අපි හදිසියේ මැවුනු අය නම් මේ බ්රිස්බන්න් නගරයත්, ඔස්ට්‍රේලියාවත්, අපි දකින මුළු ලෝකයත් හදිසියේ මැවුන දේ!
ගසක අතු බෙදී යනවා වගේ අපි ජීවත්වන විශ්වය ඉස්සර හිටපු විශ්වයෙන් වෙන්වී ගියේ ‘පරණ’ විශ්වයට හානියක් නොකරද? අලුත් විශ්වය මැවුනාට පසු විශ්ව දෙක වෙන වෙනම ගමනේ යෙදෙනවා. නමුත් එහෙම හිතුවොත් අපිට අම්මලා, පවුල්, රටවල් අතීතයේ තිබුනට දැන් ඒවා සමග සන්ධියක් නෑ.- අම්මා කොහෙදෝ ඉන්නවා නමුත් හමුවෙන්න බෑ!
මගෙ ‘ලංකාව ආයෙත් තිබුනොත්’ සංකල්පයට නීලා දුන් පිළිතුර අවසන් කරේ ‘මම තවම පී එච් ඩී එකට වැඩ කරනවා… මලික් කෙනෙක් හම්බවෙලාවත් නෑ’ කියලා. නමුත් ඒ තර්කය වලංගුද?
නීලා කිව්වේ ජීවිතේ ආපහු ‘පරණ පාරට’ එක්වෙයි කියලා. හදිසියේ ලංකාව නැවත ආවොත් නීලා පී එච් ඩී කරගෙන යෑම ඇත්ත වෙන්න පුළුවන්. නමුත් එතකොට පසුගියමාස හය ගැන මොන මතකද තියෙන්නෙ? මලික් නැති බව ඇත්ත වෙන්න පුළුවන් නමුත් නීලගෙ නිවාස තට්ටුවේම හිටපු සනත් තවම ඉන්නවද? නීලා ගැන සනත්ගෙ මතකේ තියෙන්නේ මොනවද?
සනත් හිතන විදිහට නීලා හදිසියේමාස හයක් නැතුව ඉඳලා නැවත ආවද නැත්නම් ‘සමාන්තර නීලා කෙනෙක්’ ඒ විශ්වයේ දිගටම හිටියද? ඒ ‘සමාන්තර නීලා’ මලික් කෙනෙක් ගැන අහලාවත් නැද්ද?
එහෙමනම්, ඒ හුදෙකලා විශ්වය අපිට නොපෙනෙන්න සැඟවී තියෙන්නේ කොහොමද? මේවට උත්තර තියෙන්නේ මා කියවපු විද්‍යා නිබන්ධ වල විතරයි!
සමාන්තරව දුවන විශ්ව දෙකේ සංකල්පය අපි දැනට පිළිගත්තොත් තව ප්‍රශ්න නැගෙනවා. ඒ අනුව ලංකාව නැවත ලෝකෙට එකතුවෙන්නේ මේ විශ්ව දෙක නැවතත් එක්වීමෙන් - වෙන්වී ගිය අත්ත නැවතත් ප්‍රධාන අත්තට යාවෙනවා වගේ. මේ යාවීමේදී වෙන්වූ අත්ත ප්‍රධාන අත්ත විසින් සම්පූර්ණෙන්ම අවශෝෂණය කිරීමෙන්. වෙන්වී ගිය අත්තේ ඉඟියක් වත් ඉතුරු නොකර.
එහෙම එක් වීමෙන් පසුව අලුත් විශ්වයේ බ්‍රිස්බන් ඉන්න අපේ ඉඟියක් වත් ඉතුරු වෙන්නෙ නෑ!
මම නැවතත් ඇඳට ගියේ නිදා වැටිමේ බලාපොරොත්තු සම්පූර්ණෙන්ම අමතක කරලා.
………………………….
ලාංකිකයෝ සහජයෙන්ම ආගන්තුක සත්කාර වලට දක්ෂ වුනත්, පිටරැටියෙකුගේ ඕනෑ එපාකම් සැපිරීම ඒ තරම් පහසු නෑ. පිටරැටියන්ට සුපුරුදු බොහෝ දේ මේ දවස්වල ලංකාවේ නෑ. දිගටම ලංකාවේ හිටපු අය ඒ ගැන නොහිතුවත් (ආගන්තුක සත්කාරයට හපනෝ වීමට ඒක හේතුවක්) මම ඒ ගැන සිතන්න පෙළඹුනේ පීටර්ගේ ගොඩබැස්ම ලඟ නිසයි.
ජයේ මට කාරෙකේ යතුර දුන්නා.
“මේක වැඩිය පාවිච්චියක් නෑ. ඇයි අරගෙන යන්නෙ නැත්තේ - මෙහෙ පාරවල්වල ආයෙත් එලවන්ට හුරු වුනොත් නරකද? ටයර් එහෙම චෙක් කරගත්තොත් හොඳයි”
“තැන්ක්යූ ජයේ… විස්කි බෝතලයක් අරගෙන දෙනවා… මං වත්!”
පීටර් අපෙ ගෙදර ඒම ගැන මම පවුලේ අයගෙන් අදහස් විමසුවේ ටෙලිෆෝනෙන්. තුන්දෙනාගෙන් ලැබුන හැඟීම් විශාල ලෙස වෙනස්වුනා.
“ලොක්කගෙ යාළුවා අපෙ ගෙවල් දොරවල් ගැන මොනවා හිතයිද?”
“මොනවද අයියගෙ යාළුවට කන්ට දෙන්නේ මෙහෙ ආවහම ? ඔය එක එක රට කෑම උයන්ට මට බෑ!”
“අපි යාළුවා ඇලට එක්ක ගිහින් අරක්කු පොවමු - ආයෙ කිසි දෙයක් ඉල්ලන එකක් නෑ!”
පීටර් එන දවසේ මල්ලිත් නුවර එන්න පොරොන්දුවුනා. මගෙ නවාතැනත් අයිති ගෙස්ට් හවුස් එකේම මම පීටර්ට කාමරයක් වෙන්කරගත්තා එදා රෑට. පීටර්ට ගෙවන්න වෙන ගානට හුඟක් අඩුවෙන් මට කාමරේ ලැබුනේ ජයේ ගෙස්ට් හවුස් අයිතිකාරයගෙ යාළුවෙක් නිසා වෙන්න ඇති.
සිකුරාදා මම ගමේ ගියේ කාරෙකේ, ගෙදරට අවශ්‍යවෙයි කියලා හිතුන බඩු ටිකක් එහෙම ඇරගෙන. මගෙ ගමනේ මූළික අරමුණ වුනේ ඊලඟ සතියේ සෙනසුරාදා පීටර්ගේ පැමිනීම ගැන අම්මගෙත් නංගිගෙත් හිතේ ඇති කරදරකාරී සිතිවිලි ටිකක්හරි දුරු කිරීමයි.
“කොහෙද ලොක්කා යාළුවා නිදා ගන්නේ?”
“මං හිතුවේ එලියේ මඩුවේ මෙට්ට දාලා නිදා ගන්න… සීතල වැඩි වෙයිද?”
“අනේ… එහෙම හොඳද? ඔය අයට පුරුදු නැතුව ඇති අප්පා බිම නිදාගෙන… අනික මදුරුවොත් ඉඳියි!”
මම අම්මට කිව්වා භූ විද්‍යා ෆීල්ඩ් වැඩ ගැන. කූඩාරම්වල නිදාගන්න හැටිත් ගිනි ගොඩක් ගහලා කෑම හදාගන්නා හැටිත්. අම්මා හිතන විදිහට මේවා වලංගු තර්ක නෙවෙයි.
“ඒ වුනාට මේක අපෙ ගෙදර නේ… කැලෑවක් යෑ…”
“එහෙම එකක් නෙවෙයි අම්මා… මතකද මං පොඩිකාලේ අඬනවා ‘එලියේ නිදන්න’? මං හිතුවේ පීටරුත් කැමතිවෙයි අපෙ පොඩිකාලේ එහෙමත් ටිකක් තේරුම් ගන්න”
“අනේ මන්දා ඉතින්… කෝකටත් ලොක්කගෙ ඇඳත් හදලා තියමු”
අම්මගෙන් බේරෙන්න මම ඒකට එකඟවුනා. නංගිගෙ ප්‍රශ්න ඊට වඩා වෙනස්.
“ටොයිලට් බාත් රූම් එහෙම ප්‍රශ්නයක් නැතිවෙයි දැන්… උනු වතුර නැති එක ඇරුනුකොට… හැබැයි ඔය ෆීල්ඩ් ට්‍රිප් වලත් ඇල් වතුරෙන් නාලා පුරුදු ඇති…. කෑම ගැන මොකද කියන්නේ? බත් මාළු කයිද, මිරිස් අඩුවට ඉව්වොත්?”
“ඒ ගැන කරදර වෙන්න එපා නංගී… රෑට ඉඳිආප්ප ගේන්නං, මෙහෙන් එලවළු එහෙම ඉව්වොත්… උදේට පාන් වගේ දෙයක් කමු,තේ බීලා. කෙසෙල් ගෙඩි එහෙම මෙහෙන් ගමු… හැබැයි පොලොස් ඇඹුලුයි පොල් සම්බලුයි ඕනෑමයි!”
“එතකොට මස් මාළු? එහෙ මිනිස්සු නිතරම මස් මාළු කනවා නේද?”
“එහෙනං එක දවසක් නැතිවුනා කියලා මැරෙන්නෙ නෑ! හැබැයි දෙන්නෙම නැති එක දෙයක් - තම්බපු එලවළු - සම්පූර්ණෙන්ම තහනම්!”
………………………………………
ඉරිදා උදේ මම ගිහින් මලික්/නීලා ෆ්ලැට් එකේ දොරට තට්ටු කරේ නවයට විතර. මලික් නිදි මතේ ඇවිත් දොර ඇරියා.
“ මෝනින්! සොරි උදේම ඇහැරෙව්වට… අපිට පුළුවන්ද අද පොඩි මීටිමක් තියන්න?”
“… සොරි ලලිත්… මම හරියට ඇහැරිලා නෑ තවම - මීටිමක් ඕනෑ කියලද ඇහුවේ?”
“ඔවු… ඊයෙ රෑ කතාවෙන් ආපු දෙයක්…”
“මං අහන්නම් නීලගෙන්”
මලික් මට ඇතුලට එන්න කිව්වෙ නෑ. මමත් බිත්තියට හේත්තුවෙලා විනාඩි කීපයක් මල් පාත්ති දිහා බලාගෙන හිටියා. එලියට ආවේ නීලා.
“මොකද ලලිත්?”
“නීලා ඊයෙ රෑ කියපු දෙයක් නිසා මම රැයෙන් බාගයක් නිදි මැරුවා. නීලා කියපු කතාව හරියටම හරි - අර ලංකාව ආපහු ආවොත් අපිට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. මං හිතුවේ අපි තුන්දෙනා ඒක තව ටිකක් ඩිවලොප් කරලා සුරාජ්ටත් කියන්න වටිනවා… හැබැයි දැන් කරදර නම් අද හවස වුනත් කමක් නෑ!”
නීලා පොඩි හිනාවක් පෙන්නුවා. කතා කරේ රහසක් කියනවා වගේ.
“මලික් කැමති නෑ ගෙදර අස් නොකර කාටවත් ඇතුලට අඬගහන්න… දැන් බස බස ගාලා කෑම මේසේ අයින් කරනවා!”
“මං මේ කඩේ යන ගමන් - තව විනාඩි තිහකින් එන්නද?”
“පිස්සුද? එන්න ඇතුලට - මලික්ට පිස්සු!”
“මට ඇහුනා ඒක!”
මලික්ගේ කටහඬ ඒ සැරේ විනෝදකාමී - ඉස්සරවෙලා වගේ නෙවෙයි.
මම වාඩි වෙන්නත් ඉස්සර මලික් මට තේ කෝප්පයක් දුන්නේ ඉඟියෙන් ‘සොරි’ කියමින්.
මම කෙලින්ම මගෙ අදහස් ඉදිරිපත් කළා.
“ඊයෙ රෑ නීලා කිව්වා ලංකාව ආපහු ආවොත් අපෙ ජීවිත වෙනස්වෙන හැටි. එකක් මේ දැන් තියෙන ජීවිත කෙලින්ම අතුරුදහන් වෙනවා! මම ලංකාවේ, මලිකුත් ලංකාවේ, නීලා යුනිවසිටි…”
මම තේ උගුරක් බිව්වා.
“ඔය දෙන්නා දැන් ගෙවන ප්‍රීතිමත් ජීවිතේ එතනින් ඉවරයි! … පස්සේ වෙන ප්‍රීතිමත් ජීවත ගොඩනැගුනත් මේක ඉවරයි!... ඒක අපරාධයක් - මෙච්චර සතුටුදායක ජීවිතයක් අපතේ හරින එක… මොකවත් නොකර… අපිට කරන්න පුළුවන් එකම දෙයයි - මම ජෝ කෝපට අදම කතා කරලා බලන්නම් ඔය දෙන්නට පාස්පෝට් ගන්න හැටියක් ගැන…”
මම අත උස්සලා දෙන්නගෙ සතුටු ‘තැන්ක්යූ’ නවත්ත ගත්තා.
“මෙතන කිසි දෙයක් ප්‍රොමිස් කරන්න මට බෑ… හරි ගියත් කොච්චර කල් යයිද කියලා කියන්නත් බෑ”
නීලා ප්‍රශ්නයක් ඇහුවා.
“එතකොට ලලිත්ට පාස්පෝට්?”
“ඔය දෙන්නගෙ වැඩ හරි ගියොත් පස්සේ බලනවා. මට හදිස්සියක් නෑ - එහෙම කිව්වේ ඊයෙ රෑ ඔළුවට ආපු අදහස් ගොන්නක් නිසා”
ඒ සැරේ දෙන්නා නිහඬයි - මට කරලිය බාරදීලා.
“අපිට මේ ගැන හිතන්න තියෙන හොඳම ක්‍රමය විශ්ව දෙකක් මවලා - ලංකාව තියෙන විශ්වයයි ලංකාව නැති විශ්වයයි… මම ලංකාව කියලා කිව්වට නැතිවුන සේරම දූපත් මේකට අයිතියි. අපෙ විශ්වය දෙකට බෙදුනේ කවදද, කීයටද කියලා අපි හරියටම දන්නවා. හැබැයි ඒක දැන්ගත්තට බෙදීම සිද්ධවුනේ කොහොමද කියලා අපි දන්නෙ නෑ. සමහරවිට කවදාවත් දැනගන්න බැරිවෙයි…. මේ විශ්ව දෙකේ මොඩල් එකේ ‘ආයෙ ලංකාව ආපහු ආවොත්’ කියන්නේ වෙන්වී ගිය විශ්ව දෙක ආයෙත් එක් වෙනවට. එහෙම එක්වුනොත් නැතිවුන දූපත් ආයෙත් තියෙනවා - ඉස්සර තිබුන විදිහටම ලෝකේ දුවනවා…”
මේ කතාව දෙන්නගෙ මොලවලට කිඳාබහින්න ඉඩ දීලා මම ගිහින් කුස්සියෙන් වතුර වීදුරුවක් අරගෙන ආපහු ඇවිත් වාඩිවුනා. දෙන්නා තවම නිහඬයි නමුත් දැන් අත් අල්ලාගෙන.
“ආපහු විශ්ව දෙයා යාවුනේ නැත්නම්… ඔය දෙන්නා සමහරවිට පී එන් ජී ජාතිකයෝ හැටියට කසාදයක් එහෙම බැඳගෙන සෙට්ල් වෙයි… හොඳ ප්‍රතිඵලයක්! ඒ කතාව දිගටම ගෙනියන්නේ ඔය දෙන්නා… මමත් සමහරවිට කොහෙ හරි සෙට්ල් වෙයි… රස්සාවක් හොයාගන්න හැටියට. අපෙ අනික් ලංකා කවයේ අයටත් ඒ ඉරණම මයි. මයිකල් වගේ අනික් දූපත් නැතිවුන අයටත් එහෙමයි…”
“වියහැකි අනික් එක තමා විශ්ව දෙක ආයෙත් යාවීම - යම් දවසක… මෙතන තමයි වැඩේ කොම්ප්ලිකේට් වෙන්නේ…”